අඹගල කොටුව
අඹගල කොටුව
Click Here to Continue
පන්සලේ ලොකු හාමුදුරුවො නිහඬවම මාව එක්කගෙන ආවෙ ආවාස ගෙයි යාබද කුටියකට. මට මිටි අසුනක් පෙන්වපු උන්නාන්සේ පුරුදු අසුනට බර වෙලා පඩික්කමත් ලං කරගත්තා.. මම හිටියෙ හිතේ කෝච්චි දහසක් යන තරමෙ කලබලයෙන්.. ඇස් තිබුණෙ මුහුදක තරමෙ කඳුලු වලින් හිර වෙලා... මේ දවස් ගාණක හිර වු දුකක්... මම නිහඬවම උන්නාන්සේ දිහා බලාගෙන හිටියෙ මේක කොතනින් පටන් ගන්නද කියල හිතමින්
"මට පේනව දෙනුවන් මොකක් නමුත් ලොකු ම දේකට මැදිවෙල තියෙනවා.. කියමු බලන්න දැන් ඔක්කොම විස්තරේ..."
මම අතේ තිබුන කවරෙන් එලියට ගත්තෙ ඒ පොත.. අඹගල කොටුවෙ නිධානෙ විස්තර තිබුන නිධන් වදුල. ඒක දැකපු ලොකු හාමුදුරුවන්ගෙ ඇස් විශාල වුනා.. උන්නාන්සේ දැනගන්න ඇති දැන්නම් මම මේ කියන්නෙ මොකක් ගැනද කියල..
"දෙනුවන්.. මම අදටත් කල්පනා කරන ප්‍රශ්නයක් මේක.. දැන් ඉතිං කියමු හැමදේම... මුල ඉඳලම.."
ඇස්වල කඳුලු පිසදාපු මම තවත් මිනිත්තුවක් නිහඬ වෙලා කතාව කියන්න පුළුවන් වෙන තරමට හිත සංසුන් කරගත්තා.. මුලින්ම මගෙ මතකය ගියේ එදා අතුල මේ ආරංචිය අපෙ ගෙදරට ගෙනාපු දවසට..
************** ************** ************
"ඒක නෙවෙයි දෙනුවන්.. අර වැඩේට ඔක්කොම ලෑස්තියි.."
අතුල හිස් වීදුරුව ජනෙල් පඩිය උඩ තියන ගමන් පහත් හඬින් කිව්වෙ අපේ සාලෙ දිහා බලන ගමන්.. ඒ බැල්මෙ තිබුන අවිනිශ්චිත දේ නිසාම මට තේරුනා මූ කියන්න ආවෙ බැරෑරුම් දෙයක් බව..
"මොකක් ගැන ද උඹ කියන්නෙ.."
අතුල ඇහින් අපෙ කාමරේ දොර පෙන්නුවෙ ඒක වහපං කියන්න.. මම ඇඳෙන් නැගිටල ඇවිත් සාලෙට ඔලුව දාල දොර හෙමින් වහල දැම්මා.. අම්මා ඇත්තෙ කස්සියෙ උයන ගමන්.. දොර වහපු මම ආපහු හැරෙනකොට මෙච්චර වෙලා අතුල ලඟ තියාගෙන හිටපු කළු කවරෙ ඇතුලෙන් එලියට ගත්තෙ පොතක්.. ඇඳ උඩ ඉඳ ගත්ත මම ඒ පොත අතට ගත්තෙ සෑහෙන කුතුහලයකින්..
"අඩේ... මේ මොකද්ද ..."
පුංචි කාලෙ ඉඳලම පන්සලේ පුස්තකාලෙ පොත් එක්ක ගැවසුණු මට ඒකෙ පොතක් අඳුනගන්න එච්චර අමාරු නෑ.. නමුත් අතුලය මේ ගෙනත් තියෙන්නෙ පන්සලේ ලොකු හාමුදුරුවන් ගෙ කාමරේ තියෙන රහස් පොත් වලින් එකක්.. පිටකවරය පවා හඳුනාගන්න බැරි තරම් පරණ උන මේක නිධන් වදුලු පොතක්.. පන්සලේ පුස්තකාලෙ පරිහරණය කලාට ලොකු හාමුදුරුවො ලඟ තියෙන පැරණි පොත් කියවන්න අපි කාටවත් අවස්ථාව නොලැබුනෙ අතිශය පරණ ඒ පොත් එයා පණ වගේ සුරක්ෂිත කරපු නිසා.. පුරාණ යන්ත්‍ර, මන්ත්‍ර, වෙද, බණ මේ හැම එකකම දුර්ලභ පොත් උන්නාන්සේ සතුව ඇති බව පොඩි හාමුදුරුවො මා එක්ක කියල තිබුනා..
දවසක් ලොකු හාමුදුරුවො මට කතා කලේ ඒ පරණ පොත් රාක්කෙ සුද්ද පවිත්‍ර කරගන්න.. පොත පතට කැමති මටම ඒකට කතා කලේ පොත් වලට හානි නොවී ඒ වැඩේ කරගන්න බව මම දන්නවා.. අන්න එදා අහම්බෙන් තමා මේ නිධන් වස්තු පොත මා අතට ආවෙ..
"දෙනුවන්.. මේක අපෙ විහාරයට පාරම්පරික ව ලැබුණු දුර්ලභ නිදන් වදුලක්.. ඇත්තටම මේ පොත් ගැන කවුරුත් දැනගැනීම එච්චර හොඳ වෙන්නෙ නෑ.. ඒකෙන් මේ ගමේ හුඟක් තැන් විනාශ වෙනව වගේම ජීවිත වුනත් විනාශ වෙන්න බැරි නෑ... "
ලොකු හාමුදුරුවන් ඒ පොත ගැන එදා කිව්වෙ එහෙම.. උන්නාන්සේ ගෙ අකමැත්තක් නොතිබුණු නිසා එදා මම ඒක කියවල බැලුවා.. අපෙ ප්‍රදේශයෙ නොයෙක් තැන් ගැන ඒකෙ කියවිල තිබුනත් ඒ තැන් දැන් වෙනස් වෙලා නිසා ඒ කියන ලකුණු දැන් ඒ ස්ථානවල නෑ. නමුත් ඒකෙ සඳහන් වූ එක තැනක් තවමත් ඒ විදිහටම අපේ ගමේ පිහිටල තිබුනා..
අපේ ගමේ වෙල් යායට යාබදව තිබුනෙ රූස්ස කැලෑවෙන් වැහුණ කඳු වැටියක්. මේක රජයෙ ඉඩමක් වුනත් ගමේ මිනිස්සුන්ට පොඩි පොඩි දේකට ලීයක් දෙකක් කපා ගන්න ඔය කැලේ ප්‍රයෝජන වුනා.. පොඩි අඩි පාරකින් මේ කන්දට යන්න පුළුවන් විදිහට පාර හදාගෙන තිබුනෙ ගමේ අයම තමා... පුංචිකාලෙ ඉඳල මේ කන්ද පාමුල සෙල්ලම් කරන අපි දන්න කියන තව තැනක් තිබුනා..
මේ කන්දෙ අනිත් පැත්තට වෙන්න තැනින් තැන තිබුනෙ මහ විශාල ගල් පර්වත.. කන්දෙ පහලට වෙන්න තිබුනෙ හරි අසාමාන්‍ය ගල් තලාවක්.. පැතලි ගල් තලාව මත සමචතුරස්‍රාකාර ගලක් පිහිටල තිබුනෙ හරියට කැටයම් කරපු බලකොටුවක් වගේ.. ඕකට ගමේ අය කිව්වෙ 'අඹගල කොටුව ' කියල..
ඒ අවට අඹ ගස් තියෙන නිසාත් කොටු හැඩයට පිහිටි ගල නිසාත් මේ නම වැටෙන්න ඇති කියල මට හිතුනා.. නොයෙක් නිධානයන් මේ කන්දෙ සැඟවිල කියල ගම්මු කටකතාවට කියන ගමන් මේ අඹගල කොටුව ගැනත් හුඟක් දේවල් කියනව අපට ඇහිල තිබුනා.. නමුත් ඉතින් මම , අතුල තව කොලු නඩේ එවුන් පුංචි කලෙ ඔය අඹගස්වල ගැට කකා රොබින්හුඩ්, ටාසන් වගේ සෙල්ලම් කලේ ඔය හරියෙම තමා... පුංචි කාලෙ සෙල්ලම් කලාට මෑතක නම් ඔය පැත්තට ගියේම නෑ.. ඒ වගේම ඉස්සර වගේ දැන් ඉන්න ලමයින්ට කැලෑ ගානෙ සෙල්ලම් කරන්න ගෙවල් වලින් අවසර තිබුනෙ නෑ.. මේ නිසා අඹගලකොටුව කාගෙත් හිතින් අමතක වන ස්ථානයක් වෙලයි තිබුනෙ..
...නමුත් මේ කියන නිධන් වදුලෙ පැහැදිලි ව අඹගල කොටුව ගැනත් එහි නිධන් කොට ඇති වස්තු සම්භාරයක් ගැනත් විස්තර වෙලා තිබුනා.. දවසක් මම නිකමට වගේ අතුලට ඕක කිව්වම ඌ පුදුම වෙලා ඔය ගැන විස්තර ඇහුවා.. නිධන් වදුල ගැනත් විස්තරේ ගැනත් ඌ එදා ඇහුවට මම කවදාවත් මෙහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නෑ..
"උඹට පිස්සුද යකෝ... මේක කොහොමද උඹ ගත්තෙ.. මේක ආපහු ගිහින් තියපං... බැරි නම් මම තියන්නම්"
"දෙනූ මේක අහපං... මම මේක හොඳට කියෙව්වා.. අඹගල කියන්නෙ අපි පොඩි කාලෙ ඉඳල දන්න තැනක්.. අනික බං මේ ගැන කිසි කෙනෙක් දැන ගන්නෙ නෑ.."
"අපි ට පුළුවන් ද බං ඕව කරන්න.. පොතක විස්තරයක් තිබුනට ඕවා යන්තර මන්තර වලින් කරන වැඩ.. නිකම් හරි ගැස්සුනොත් ඔක්කොම ඉවරයි.. අනික ගමේ එකෙක් දැනගත්තොත් අපිට හිරේ තමා ලගින්න වෙන්නෙ.."
"දෙනූ උඹ දන්නවද ලක්සිරි අයිය ඔය බිස්නස් කරන්නෙ කොහොමද කියල.."
"ලක්සිරි කන්දෙ නිධානයක් ගත්ත කතාව උඹත් විශ්වාස කරනවද බං..."
"මෙච්චර දවසකට කලේ නෑ.. හැබැයි ජන්තුව කීවම තමා වැඩේ ඔක්කොම දැනගත්තෙ..."
"ජන්තුවා...."
"ඔව් ඌ තමා ලක්සිරිට ඕක අරන් දීල තියෙන්නෙ.."
"න් නෑ..."
ගමේ හිටපු ඩිංගිරි ගුරුන්නාන්සෙගෙ ගෝලය තමා ජන්තු.. ගුරුන්නාන්සෙ නැතිවුනාට පස්සෙ ගමේ හැම කෙනෙක්ගෙම ලෙඩට දුකට පිහිට වුනේ ජන්තුවා.. ගුරුන්නාන්සෙගෙ දේවල් අකුරටම කරන ගමන් කවදාවත් ජන්තුවා ඒ දේවල් වලට මිලක් නියම කලේ නෑ.. ඒ වගේම කරන වැඩේ කිරිගහට ඇන්නා වගේ හරියටම සාර්ථක වුනා.. ඒ නිසාම ජන්තුවා ගමේ ලොකු පොඩි ඕනම කෙනෙක් අතර ප්‍රසිද්ධ කෙනෙක්..
නමුත් ගුරුන්නාන්සෙ නොකරන සමහර දේවල් වලට ජන්තුවා යන බව ගමේ ප්‍රසිද්ධ රහසක්.. ඒ නිධන් සම්බන්ධ දේවල් තමා...
"උඹ.. ඌටත් මේක කිව්වද..."
"ජන්තුව තමා කීවෙ වදුල ගෙනත් දෙන්න කියල.. මේක බලපු ගමන් අපි ගිහින් අඹගල බැලුවා.. ජන්තුව ටක්කෙටම කිව්ව මේක ගන්න පුළුවන් තැනක් බව.."
මගෙ ඉහමොල රත්වෙලා ගියේ ඒ කතාව ඇහුවම.. මම නිසා ලොකු දුරක් මේ කතාව ගිහින් කියල දැනුනම මාව සීතල වෙලා ගියා..
"අතුල... උඹ මේ මොනවද කරල තියෙන්නෙ.. විනාසයි යකෝ... "
අතුල මගෙ උරහිසට අතක් තිබ්බෙ මට කේන්ති ගිය බව දැනගත් නිසා වගේ. ඇත්තටම මට කේන්ති ගියෙ මම එක්කම.. මගෙ කට මටම පරිස්සම් කරගන්න බැරි වුනානෙ..
"දෙනුවන්.. අහපං.. මේකෙ කිසිම අවුලක් වෙන්නෙ නෑ.. අනිත් දේ මෙතන බිලි පූජා මොකවත් නෑ.. ඒ නිසා අපි කිසිම අපරාධයක් කරන්නෙ නෑ.. මචං උඹ ඉන්න තත්වෙ මම නොදන්නවා නෙවෙයි.. හැමදේම ජන්තුයි මායි බලාගන්නවා.. වැඩට ජන්තුවගෙ විශ්වාස එකෙක් ඉන්නවා.. තව පොඩි පොඩි දේවල් ටිකකට එකෙක් හිටියම ඇති.. මම ජන්තුවාට කිව්වෙ කට්ටිය මේ ඇති කියල.. උඹ ආවත් නාවත් මේකෙ කොටසක් උඹට අනිවාර්යයෙන් තියෙනවා.. ඒත් මචං කරුණාකරල මේක වලක්වන්න හදන්නෙපා උඹ දන්නවනෙ අපෙ ගෙදර තත්ත්වය .. මට ලක්සිරි වගේ බිස්නස් කරන්න ඕන නෑ.. මගෙ ගේයි කුඹුරයි උගසෙන් බේරගන්න තිබුනනම් ඒ ඇති.. උඹ මේ කරන උදව්ව මගෙ ජීවිත කාලෙම මම මතක තියා ගන්නවා.."
********** *******-***** *************
එදා රෑ මට නින්දක් තිබුනෙම නෑ.. එක පැත්තකින් අතුලල කරන්න යන වැඩේ ගැනත් අනිත් අතින් මගෙ හැමදේටම උදව් පදව් කරන අතුලගෙ අහිංසක මූණත් මැවෙන්න උනා.. අතුල කියන්නෙ හුඟක් අගහිඟකම් තියෙන පවුලක එකෙක්.. අතුලගෙ තාත්තා අසනීපෙන් නැතිවෙනකොට එයාලගෙ ගේ ඉඩම කුඹුර හැමදේම උගස් වෙලා ඉවරයි.. එදා ඉඳල අතුල මා එක්ක නිතරම කියෙව්වෙ ගේ ඉඩම ගැනයි මුදලාලිගෙ කරදර ගැනයි තමා.. හිත එක්ක හුඟක් වෙලා තර්ක කරපු මම අවසානෙ තීරණයකට ආවා..
"උන් ඕක කරගත්තාවෙ.. මට කිව්වෙ කාටවත් නොකිය ඉන්න කියල විතරනෙ.. අනික ජන්තුවා ගෙ වැඩක් කවදාවත් වැරදිලත් නෑ.. කොහොමහරි අතුලයගෙ ප්‍රශ්නත් විසඳෙයිනෙ.. නරබිලි අනම්මනම් නැති නිසා අපරාධයක් වෙන්නෙත් නෑ.."
මම එහෙම එකඟතාවක් හදාගත්තට හිත ඇතුලෙ තිබුනෙ මොකද්දෝ අමුතු චංචලභාවයක්..
දවස් දෙකකට පස්සෙ අතුල මාව හොයාගෙන ආපහු ආවා..
"දෙනුවන්... හෙට තමයි දවස... උවමනා දේවල් ඔක්කොම හරියටම හරි.."
"දැන් හෙට කවුරුත් ඔතනට නොඑයි කියල උඹලට විශ්වාසද..."
"හෙට පුර අටවක දවසක්.. ජන්තුව කියන විදිහට නිධානෙට අරක් ගත් අයවලුන්ව එයාගෙ මංතර වලට කීකරු කරගන්න හොඳම හෙටලු.. අපි ඕන කරන දේවල් දැනටම එතන හංගල තියෙන්නෙ.. කොහොමත් ඔය පැත්තට වැඩිය කවුරුත් යන්නෙ නෑනෙ .. රෑට තමා වැඩේ වෙන්නෙ.. "
ඒ එක්කම මට දැනුනා අතුල තව දෙයක් මගෙන් ඉල්ලන බව
"මේකයි.. අපි තුන්දෙනා ට අමතරව තව කෙනෙක් ඕනලු.. ලොකු දෙයක් කරන්න නෙවෙයි ඔය දුම් අල්ලන්න වගෙ වැඩට... මේක තව ප්‍රසිද්ධ කරන්න බෑනෙ බං.. උඹට පුළුවන් ද හෙට..."
"අතුල.. මම කිව්වනෙ ඕවගෙ දේවල් වලට මම නෑ.. "
"මම දන්නව බං.. ඒත් පිට කවුරුත් නොගෙන උඹටම කතා කලේ මේ කතාව මුල ඉඳලම උඹ දන්න නිසා..
අතුලගෙ ඇවටිල්ල නිසාම මම පහුවදා එන්න කැමති උනත් මේ වැඩේට දැන් මමත් හවුල් නේද කියල හිතේ චකිතයක් මට ආයෙම දැනුනා..
************ *************** ************
පහුවදා හවස හතර වෙනකොට මම හෙමින් හෙමින් වෙල මැදින් කැලේ පැත්තට ඇදුනෙ අතේ පොහොර කවරෙකුත් තියාගෙන.. කවුරුහරි ඇහුවොත් කැලේ අඹ ගස්වලින් අඹ ටිකක් කඩන්න යන විදිහට තමා එහෙම කලේ.. ගෙදරට කිව්වෙ අල්ලපු ගමේ තියෙන මියුසිකල් එක බලන්න යනව කියල.. කොහොමහරි වෙල්යාය පහුවෙනකම් කවුරුත් මට හම්බවුනෙම නෑ.. කැලෑවට ඇතුල්වෙන්න කලින් මම ආපහු හැරිල වෙල් යාය දිහා බැලුවෙ කවුරුත් මාව විශේෂයෙන් දැක්කද කියල බලන්න.. මාව අඳුනගන්න පුළුවන් තරමෙ ලඟ පාත කවුරුත් ම හිටියෙ නෑ.. අබරං ආතා නම් එයාගෙ ලියැද්දෙ ඉන්නව දැක්ක. ඒත් උන්දැට දුර පේන්නෙ නෑ.. සැකයකින් තොරව මම ඉක්මනින් කැලේ මැද්දෙන් අඹගලකොටුව පැත්තට යන්න ගත්තා..
හරියටම කිව්ව විදිහට අතුලයයි ජන්තු ගුරායි මම එනකම් අඹගලට යන අඩිපාර ලඟ හිටියා ජන්තුවා කියපු විදිහට තුන්දෙනා තුන්පාරට තමා මෙතනට එන්න නියම කලේ.. අතුල කපපු කෙසෙල් කඳකුත් කරගහගෙන ඇවිත් තිබුනා..
"කවුරුත් හම්බ වුනාද.."
"නෑ කවුරුත් හම්බ වුනෙ නම් නෑ.. ඈතට කවුරුත් දැක්කද දන්නෑ..."
"ආ ඒකට කමක් නෑ.. ඉක්මනින් අපි යමු තව වැඩ ටිකක් එතන කරගන්න ඕනනෙ.."
ජන්තුවගෙ ලඟ තිබුන මලු දෙකෙන් එකක් මම ගන්න ගමන් මම ඒකට එබුනෙ එහි අසාමාන්‍ය සෙලවීමක් දැක්ක නිසා.. ඒකෙ හිටියෙ කුකුලෙක්... අතුල කිව්වෙ ලේ ටිකක් ගන්න ඌව ගෙනාව කියල... කොහොමහරි ඉක්මනින් අඹගල කොටුව ලඟට කිට්ටු වෙන්න අපිට පුළුවන් වුනා.. ඒ දවස්වල ආවට පස්සෙ මම මෙතනට මේ ආවමයි. ඒත් හරි අඳුරු ගුප්ත මූසල පාටක් අද එතනින් මම දැක්ක.. ඉස්සර මේ ගල උඩ අපි කොච්චර සෙල්ලම් කලත් අද නම් මේ පර්වතේ දැක්කම මට දැනුනෙ බයක්..
කොහොමින් කොහොමහරි ඇඳිරි වැටෙනකොට ජන්තුවට ඕන විදිහට වැඩ ටික පිලිවෙල වුනා. අපි එන්න කලින්ම ජන්තුගෙ ගෝලය හුඟක් වැඩ හරියට කරල තිබුනා පහන් දල්වන ගොක් පැල දෙක තුනක් වගෙම විලක්කු එහෙම ඌ ඔක්කොම ලෑස්ති කරල තිබුනා.. අපි කලේ අතුල කරගහගෙන ආපු කෙසෙල් කඳේ බඩය අරගෙන මල් යහන හැදීම තමා..
කළුවර වැටෙනකොට ගමේ එවුන් ගැන තියෙන බය නැතිවෙලා ගියේ ඇඳිරි වැටුනාම මේ කැලේට මොකෙක්වත් එන්නෙ නැති නිසා. ඒත් එක්කම මතු වුනේ නොහිතපු විදිහෙ ගැටළුවක්...
"මොකක්... උඹට මම කිව්ව අතුලේ... මේක සෙල්ලමක් නෙවෙයි සිහි කල්පනාවෙන් වැඩ ටික කරපං කියල.."
බඩු ඔක්කොම ගෙනාවත් බඩු එක්ක තිබුන දුම්මල පොදිය ඒකෙ තිබුනෙ නෑ.. අතුලයයි ජන්තුගෙ ගෝලයයි ආයෙ ආයෙ ඒක හෙව්වා..
"ඒක දාල ඇවිල්ලනෙ.."
"උඹ මොන $%&& ද කලේ... දැන් කොහොමද මේක කරන්නෙ..."
ජන්තුව බැණ වැදුනත් අතුලගෙ මූණෙ තිබුනෙ ධෛර්යමත් ගතියක්..
"හරි මම ගිහින් අරන් එන්නම්.. මෙතන බර වැඩ ටික දැන් ඉවරයිනෙ ආයෙ මොනවද මම පැය බාගෙන් එන්නම්.."
"මමත් උඹ එක්ක එන්නම්..."
මම ඉදිරිපත් උනේ මේ රෑ මැද්දෙ අතුලව තනියම යවන්න බැරි එකටත් වඩා මුං දෙන්න එක්ක මෙතන ඉන්න හිත අකමැති උන නිසා..
"නෑ.. අනිල්.. උඹ පලයං.. මෙතන වැඩ ටික මම බලාගන්නම්.. ඉක්මනින් ගිහින් වරෙන්.."
ජන්තුවා තම අතවැසියාව යැව්වෙ අතුලව නවත්තගෙන..
තවත් මොහොතකදි අපි වැඩ ටික ඔක්කොම අවසන් කලා.. විලක්කු පත්තු කරපු ගල් තලාව දැකපු මට මතක් උනේ ඉස්සර අපි නටන වෙසක් නාට්‍යවල්.. ජන්තුව තමන්ගෙ ඇඳුම මාරු කරගෙන සුදු සරමකින් හා රතු ජටාවකින් සැරසුණා.. ගෙනාපු කුකුල පැත්තක නිහඬව වැටිල හිටියා.. වදුලු පොත පහන් පැල මත තියපු ජන්තුවා සියලු අඩුමකුඩුම ඔහු අසලට කරගත්තා.. අතුල පැත්තක ගිනිමැලයක් ගහල පොල්කටු ගිනි තියමින් හිටියෙ අඟුරු ගන්න.. පැය බාගයක් වෙනකොට ජන්තුගෙ ගෝලය ආවෙ දුම්මල මල්ලත් අරගෙන උනත් ඌ හිටියෙ මඩෙන් නෑවිල..
"අර වක්කලමෙ එරුනා.. කලබලේ නිසා ඒක දැක්කෙ නෑ.."
"හරි ... දැන් වෙලාව හරි වැඩේ පටන් ගමු..."
********** ************* *****************
ජන්තුවා මතුරන්න පටන් අරගෙන විනාඩි විස්සකට වඩා වැඩියි. ඌ ආවේශ වෙලා වගේ මතුරගෙන යන අතරෙ අතුල දුම් අල්ලන්න පහන් වලට තෙල් දාන වගේ වැඩ කලා. ජන්තුවගෙ ගෝලය පැත්තට වෙලා බහිරවය වෙනුවෙන් හදල පිලී ගොටුව සකස්කරමින් හිටියා.. මට කරන්න වැඩක් තිබුනෙ නැති නිසා මම ගිනිමැලේ නිවෙන්න නොදී දර කෑල්ලක් දෙකක් දාන ගමන් ඒ දිහා බලාගෙන හිටියා...
අඹගල කොටුවෙ පෙට්ටිහැඩේට තිබුන ගල් කුට්ටිය දිහා මම බලන් හිටියා.. මහ රෑ මේ කැලේ මැද්දෙ වෙන නාඩගම බලන්න වගේ ගල උඩ බකමූනො කීප දෙනෙක්ම ඉන්නව මම දැක්ක.. තාමත් මේ වැඩේ ගැන මට හරියටම විශ්වාසයක් නෑ. හිත කිව්වෙම මේකට මුං හැපිල හැපිල වැඩේ අතෑරල දාවි කියල.. තවත් පැයක් ගතවුනත් ජන්තුවගෙ මැතිරිල්ලෙ ඉවරයක් තිබුනෙ නෑ.. කම්මැලිකමේ හිටිය මම ඔහේ බලාගෙන හිටිය.. ඒත් එක්කම මගෙ කම්මැලිකම බයට හැරෙන දෙයක් වෙන්න ගත්තා..
එකපාරටම තදින් හුලග හමන්න ගත්තෙ වැස්සක් එන්න ලඟ වගේ.. ඒත් අහසෙ එක වැහි වලාකුළක් නැති බව හඳ එලියෙන් බලා ගන්න පුළුවන් වුනා...
" පහන නිවෙන්න දෙන්නෙපල්ලා..."
ජන්තුවගෙ හඬට මමයි අතුලයි පහන් වටකරගෙන ඒ හුලඟින් ඒවා ආරක්ෂා කරන්න මහත් උත්සහයක් ගත්තා.. එතන එලියට ගෙනත් තිබුන ලොකු ලයිට් එක නිසා එලිය ගැන බයවෙන්න දෙයක් තිබුනෙ නම් නෑ.. නමුත් හුලඟට ඒක පෙරලෙන්න ගියත් මම පැනල ඒක ගල්පොත්තෙ විවරයක රැඳෙව්වා...
ඒ එක්කම ඇහුනෙ ඇඟකිලිපොලා යන හූ හඬක්.. ඒකට නම් ඇඟේ හිරිගඩු පිපුනෙ මගෙ විතරක් නෙවෙයි ද මන්ද. අතුලත් මා දිහා බැලුවෙ හොඳටම බය වෙලා.. මම දැක්ක අඹගලකොටුව උඩ කළු පාට ගුලියක් වගෙ එකක් දුවගෙන ගිහින් කළුවරේ නොපෙනී යනවා...
"ඔය කුකුලව ගනිං...."
විශාල එලියක් නංවමින් දුම්මල ගහන ගමන් ජන්තුවා දැන් දැන් ශබ්ද නගා මතුරන්න ගත්තෙ ගල් පර්වතය ඉස්සරහ ඇවිදින ගමන්.. ජන්තුවගෙ සගයා කුකුළව අරගෙන ඉස්සරහට යද්දි නිදිබරව හිටපු සත්වයා කෑගහන්න දඟලන්න ගත්තෙ තමන් ට සිද්දවෙන අනතුර ගැන ඉව වැටිල වගේ..
"සක්වල ගලට එහා අණ පතුරන්නාවූ යක්ඛ රාජයිනි.. සියලු කටයුතු නුඹ කියා ඇති ලෙසම අවසන්... නුඹ සතුටු කිරීමට ගෙන ආ බිලි පූජාව හා සියලු තුටු පූජාවන් පිලිගෙන අප හට ඉතින් අවසර දෙව.."
එක්වරම කුකුලාගේ ගෙල හා කඳින් අල්වා සිටි ජන්තු එය දෙපස ට ඇද දැමුවේ ගල් තලය මත රුධිරය වැටෙද්දී.. ඒ අප්‍රිය දසුන දුටු මා ඉවත බලා ගත්තත් අතුල හිටියෙ ඒ දිහාම බලාගෙන .. බිලි පූජාව අවසන් වුනත් පරිසරයෙ හෝ ගල් තලාවෙ වෙනසක් තිබුනෙ නෑ.. ඔහු ගල් කුල දෙස බලා සිටියත් මම බැලුවේ අතුල දිහාව. එක්වරම මහා හඬක් ගල් තලාව දෙදරමින් ඇසෙන්න වුනා එය පුදුමාකාර හඬක්. සිද්දවෙන්නෙ මොකද්ද කියල මට හෝ අතුලට හිතාගන්න බැරි වුනේ හිතේ බය වැඩි නිසාම වෙන්න ඇති.
එකපාරටම දැක්ක දේ මට විශ්වාස කරන්න කොහෙත්ම පුළුවන් නොවුනත් ඒක බොරුවක් නම් නෙවෙයි. ගල් තලාවෙ මැද කොටුවෙ පැත්තක සුදු පාට ඉරක් ඇඳෙන්න වුනේ පුදුමාකාර විදිහට ඒක හරියට අඩි පහක් උස අඩි තුනක් විතර පලල කොටසක් පුරාවට ඇඳුනා. ඒ එක්කම ඒ කොටස පසෙකට වෙලා ගල ඇතුලට යන්න දොරක් මතුවුනේ ලොකු එලියකුත් එක්ක..
ඒ වෙනකොට ජන්තුවාගේ මැතිරීම අවසන් වෙලා තිබුනත් අපිට ඒ ගාන ගානක් තිබුනෙම නෑ.. දොර දිහා බලාගෙන හිටපු මම එකපාරටම පියවි සිහියට ආවෙ ජන්තුවගෙ කටහඬට.
"තොපි මොනවද බලා ඉන්නේ... යමව් යමව්.. මේ දොර විනාඩි දහයයි ඇරිල තියෙන්නේ.."
අතුලගේ සුදුමැලි මුහුණට ලේ පිරී ප්‍රාණවත් වෙනවත් එක්කම මමත් ඔහුත් ජන්තු සමග එම දොරටුව අසලට යන්න වුනේ කුතුහලය බිය සම්මිශ්‍රණව තියෙද්දි.. මේ අතරෙ ජන්තුගේ ගෝලයා පහන් පැල නිමෙන්නට නොදී ආරක්ෂා කරමින් හිටියෙ ජන්තුගෙ අණ නිසාමයි.
දොරින් ඇතුලට ගිය මම දැක්කෙ මගෙ ජීවිතේ දැක්ක අති දුර්ලභම දසුන කීවොත් ඒක නිවැරදියි.
ඒ දොරටුවෙන් ඇතුලට යද්දිම අපි දැක්කා පිටතට එන ඒ එලිය එන්නෙ කොහෙන් ද කියල.. ඇත්තටම මම දකින්නෙ හීනයක් කියල මට හිතුනෙ.. ලොකු පොඩි පාට පාට ගල් සෑහෙන ගානක් හැම තැනම විසිරිල තිබුනා. ඒව හුඟක් දීප්තිමත්.. සමහර ගල් කැට ගඩොල් වලටත් වඩා විශාලයි.. ඒවා මැණික් බව අඳුරගන්න අපිට වැඩි වෙලාවක් ගියේ නෑ..
"මැණික්... මැණික් ... මුතු..මැණික්....'"
ජන්තුවාගේ ප්‍රීතිමත් හඬ අවට දෝංකාරය දෙන්නට වුනේ හුඟක් බියකරු විදිහට.. ඒත් ඌට ඒ ගැන ගානක් තිබුනෙම නෑ.. විවිධ ප්‍රමාණයේ මැණික් වලට අමතරව පසෙක ගල් තලාව මත රනින් නිම කරන ලද රාජකීය ආභරණ වගේ දේවල් බොහොමයක් එහි ගොඩ ගසා තිබිණෙ පුදුමාකාර විදිහට. ඒ වගෙම තවත් පැත්තක දිස්න දෙමින් තිබුනෙ රන්භාණ්ඩ විශාල ප්‍රමාණයක්. ඒ එක්කම වගේ අතුලය එලියට දුවල ගිහින් ආපහු ආවෙ පොහොර උර දෙකතුනක්ම අරගෙන..
පිස්සුවෙන් වගේ ඌ මේ බඩු බෑග් වලට අහුරන්න පටන් ගත්තා. දීප්තිමත් විශාල කැට බරින් වැඩි නිසා ම සාමාන්‍ය තරමේ ඒවා එකින් එක බෑගය තුල අසුරන්නට වුනා.. ජන්තුත් ලහි ලහියේ රන් ඔටුනු හා තවත් බඩු පුරවා ගත්තත් මම සිටියේ මත් වෙලා වගේ. රන් බඩු ලඟට ගිය මම ඒ දිහා බලාගෙන හිටියෙ සුලු මොහොතයි. අධික දීප්තිය නිසා මගේ හිස රිදෙන්න උනේ ඉවසා ගන්න බැරි තරමට.. ඒ එක්කම මම දැක්කෙ දිලිසෙමින් ඇති රන් අසිපත් කිහිපයක්. මම එයින් එකක් අතට ගත්තෙ නොදැනුවත්වම වගේ.
මගෙ ඇස් විශාල වුනේ ඒ කඩුවෙ බරට.. ඇත්තටම මේ පිරිසිදු තනි රත්තරං නම් මේක විතරක් වුනත් මිල කරන්න බැරි වේවි. ඒත් මම ඒක පැත්තකට දැම්මෙ ඒ දිස්නය නිසා ඇස් වගේම හිසත් රිදෙන එක තවත් වැඩි වෙද්දි. ඒ වගේම මට ක්ලාන්ත ගතියකුත් ඔක්කාරයත් ආවෙ මෙතන ඉන්න තවත් බෑ කියල හිතෙද්දි
"අතුල.. අතුල... අපි යමං එලියට ... මගෙ ඔලුව රිදෙනවා..."
"ඇයි... දෙනුවො.. එලියට වෙලා හිටිං මේ ඔක්කොම මම අරන් එන්නම්..."
"දෙනුවන් යන්න එලියට.. අපි ඉක්මනින් මේව අරන් එනවා.."
ජන්තුව එහෙම කිව්වෙ බඩු අහුරන ගමන් නොමනාපෙන්. දෙන්නට මාව කරදරයක් වගේ නිසා මම එලියට යන්න හිතුවා..
මම ඉවසන්න බැරි වේදනාවෙන් එලියට එද්දිම පහන් පැල ලඟ හිටගෙන පිලිමයක් වගේ හිටිය අනිල්ගෙන් මම දැක්කෙ අමුතු වෙනසක්.
"උඹ මොනවත් ගන්නෙ නැද්ද ..."
"මගෙ ඔලුව රිදෙනවා... මගෙ ඔලුව පැලෙන්න වගේ... මට බෑ මෙතන ඉන්න..."
"උඹ ගෙදර පලයං.. මේ ඉසව්වක ඉන්න එපා.. උඹ වගෙ එවුන් ට මේව කැප නෑ.."
මූටත් තන්නාව වැඩිවෙලා වගේ මාව යවන්න හදන්නෙ.. ඒ මොනව වුනත් මටත් හිතුන ගෙදර යන්න තිබුනනම් හොඳයි කියල.. රත්තරං කොච්චර දැක්කත් ඒ කිසි දෙයකට ආස වෙන විදිහක නෙවෙයි මම එවෙලෙ හිටියෙ.
"මම යනවා... අරුන්ට කියපං මම ගියා කියල.. "
"ආ හරි උඹ.. පලයං මම උන්ව බලා ගන්නම්.. හැබැයි මේ ගැන එක වචනයක් කාටවත් පිටවෙන්න බෑ..."
මම අඹගල කොටුවෙන් පහලට යනකොටත් ගලේ ඇරුණු දොරෙන් එහි ඇතුලෙ එලිය වටපිටාවට හොඳට වැටිල තිබුණා.. හඳ එලිය නිසා වෙල් යායෙන් යන්න අපහසු උනේ නෑ. හිසේ වේදනාවත් එක්කම මම දුවගෙන වගේ කෙලින්ම ගියේ ගෙදරට
"උඹ මොකද මේ රෑ පානෙ තනියම... මම කියල තියෙනව රෑ ගමන් නවත්තපං කියල..."
ගෙට එනකොට අම්මා හැමදාම වගේ කියන වචන ටික අදනම් මගෙ හිතටම වැදුනා කිව්වොත් එික හරි. නමුත් මම ඒවට උත්තර නොදී කාමරේට වැදිල ඉක්මනින් ම ඇඳට වැටුණා.
*********** ************** ***************
පහුවදා උදේ මම නැගිට්ටෙ අම්මගෙ කලබල හඬට. මම සාලෙට එනකොටත් ගෙදර අය එලියට ගිහින් ..
"කැලෑ කන්ද පාමුල මිනියක් හම්බවෙලා ..."
ගෙමේ ඔක්කොම වෙල් යාය දිහාට දුවනව දැකපු මගෙ ඉහමොල රත් වුනා. මට එකපාරම මතක් උනේ අතුලව.. අතුලගෙ අම්මත් අඬාගෙන ඒ දිහාට දුවනව දැකපු මගෙ කකුල් පණ නැති වීගෙන ගියත් මම ඉක්මනින් ඒ පැත්තට යන්න වුනා
"අනේ පුතේ ඊයෙ දවල් ඉඳල අතුල ගිය දිහාවක් දන්නෙ නෑ....."
වෙල් යාය ඉවරවෙන තැන අඹගල කැලය අයිනෙම මඩ වක්කලමෙ තිබුන ශරීරය දැකපු මට දෙවියො සිහිවුනා. ඒ හිටියෙ ජන්තුගෙ ගෝලය වෙච්චි අනිල්... ඔව් ඒ අනිල්ම තමා.. එයාගෙ අතේ තිබුනෙ දුම්මල මල්ල. දෙයියනේ ඒක ගේන්න ගිහින් ඊයෙ රෑ ආවෙ අතුල නෙවෙයි ද එතකොට. මගෙ ඔලුවෙ තිබුන ප්‍රශ්න එක්ක මාව මෙතන ක්ලාන්ත වෙයිද කියලයි මම බය වුනේ.. අතුලගෙ අතුරුදන් වීම ගැන එයාගෙ අම්ම හැපෙනකොට පොලිසියෙ මහත්වරු ඒ ගැනත් විමසිල්මත් වුනා
"ඊයෙ දවල් මම දැක්ක අතුල ජන්තු එක්ක මේ හරියෙ ඉන්නවා..."
හරක් බලන විල්බට් ගෙ කතාව අනුව ජන්තු ගැන සෙවීමට ද සැවොම විසිරී යන අතර අසල කැලෑව සෝදිසි කරන්න ගමේ කණ්ඩායමක් සූදානම් වුනා.. බියෙන් ගැහෙන සිතිවිලි එක්ක මමත් උන් පස්සෙ කැලේට රිංගුවෙ අඹගල කොටුවට යා ගන්න.. මම හිතුව වගේම කණ්ඩායමක් ඒ පැත්තට ගිය නිසා මමත් ඒ පස්සෙම ගියා.
අඹගලකොටුවට ආපු මම දැක්කෙ කලින් දවසෙ අපි අටවපු මල් යහන් ගොක් කොල පැල තව භාණ්ඩ ඔක්කොම ඒ විදිහටම එතන තියෙන විදිහ.. විලක්කු පන්දම් වල පවා තවම දුම් දානවා.. කාටත් තේරුම් ගියා මෙතන වෙලා තියෙන දේ.. ඒත් මම හතරැස් ගල් බිත්තියට ලං වුනේ වෙනස් ම දේකට..
මට හොඳට මතකයි මමත් උන් එක්ක ඊයෙ රෑ මේකට ඇතුල් වුනා.. ලස්සන ලස්සන මැණික් එහෙම ගොඩක් දැක්ක.. රත්තරං කඩුවක් අතටත් ගත්ත.. ඒත් දැන් මේ ගලේ මේක ඇරිච්ච ලකුණක් තියා හීරීමක්වත් නෑ.. පෙඳ පාසිවලින් වැහිල තිබුනෙ මේක හොඳටම ජරා ජීර්ණ වෙලා..
එතකොට .. එතකොට ඊයෙ රෑ මම දැක්කෙ මොකද්ද .. අතුලලට මොකද උනේ...
ඒ එක්කම එතන එකෙක් හයියෙන් කෑ ගැහුවෙ මගෙ ප්‍රශ්න වලට උත්තර අරගෙන වගේ
"අර ... අර බලපල්ලා..."
මගෙ ජීවිතේ දැකපු අවාසනාවන්ත ම දර්ශනය ඒක වෙන්නැති. මගෙ කටින් පිටවුන විලාප හඬ නවත්වගන්න මට පුළුවන් උනේ නෑ.. අඹගල පර්වතය අයිනෙ විශාල අඹ ගහේ අතු දෙහෙක හිස් නැති ශරීර දෙකක් පහතට එල්ලෙමින් තිබුනා.. ඒ දෙකේම හිස් ගෙඩි තිබුනෙ නෑ.. හරියට ඊයෙ රෑ කුකුලගෙ හිස වෙන් වෙලා වගේ තිබුන ඒ ශරීර දෙක මට අඳුන ගන්න අපහසු උනේ නෑ.. සුදු සරමකින් පමණක් සිටි ජන්තුගෙත් මගෙ අසරණ මිත්‍රය අතුලගෙත් ශරීර රතු පාටින් මිදුණ ලේ වලින් වැහිල තිබුනා.. ඒ එක්කම මම දැක්කෙ අතුලල අතේ ඊයෙ තිබුන පොහොර මලු දෙක ගහ පාමුල තියෙන විදිහ. ගහ පාමුල තිබුන පොහොර මලු දෙක දැක්ක එකෙක් ඒක අවුස්සල පස්සට පැන්නෙ කෑ ගහගෙන...
බය බිරාන්තයෙන් ඇරිච්ච ඇස් ගෙඩි එක්ක මිනිස් හිස් දෙකක් ඒක ඇතුලෙ තිබුනා.. අසරණ මිත්‍රයගෙ මුහුණ දැකපු මගෙ ඇස් දෙක අඳුරු වෙලා යනව විතරයි මට මතක..
************* *************** *************
මරණ පරීක්ෂණ වලින් මරණ සිදු වූ විදිහ ගැන නිගමනය කලත් ඒ එකක්වත් පැහැදිලි කරල කියන්න පුළුවන් කෙනෙක් එතන හිටියෙ නෑ.. මරණ සිද්ද වෙච්චි වේලාවල් ගැන කියද්දි මට ආයෙත් මතක් වුනේ අනිල්ව. අනිල්ගෙ මරණය වෙලා තිබුනෙ ඊයෙ හවස 7ත් 8ත් අතර. ඒ වෙලාවෙ තමා අනිල් දුම්මල ගේන්න ගිහින් ආවෙ.. ඒත් මේ කියන විදිහට අනිල් එතනට එන්න විදිහක් ඇත්තෙම නෑ.. දුම්මල මල්ලත් මෙතනම තිබුන නිසා අනිල් ආපහු එද්දි තමා මේ දේ වෙලා තියෙන්නෙ..
දෙයියනේ එහෙම නම් කවුද ඊයෙ හිටියෙ.. කවුද මම එන වෙලාවෙ මා එක්ක කතා කලේ...
කිසිම දේකට උත්තර මට හොයාගන්න බැරි වුනා. ඒ වගේම අතුල ජන්තු වෙලේ දැකපු සාක්ෂි කාරයො හිටියට මාව දැකපු කවුරුත් හිටියෙ නෑ.. අබරං ආතා විතරක් කිව්වෙ හතරට විතර මේ පැත්තට යන කෙනෙක් දැකපු බව.. මගෙ හිත ගැස්සුනත් වයසක අබරං ආතාගෙ කතාව කවුරුත් ගනන් ගත්තෙ නෑ.. කොහොම නමුත් මට මගේ හදවතින් බේරෙන්න කොහොමටවත් බැරි වුනා.. මේ ඔක්කොම උනේ නිදන් වදුල ගැන මම අතුලට කියපු නිසා.. ඉතිං මේකට මම නෙවෙයි ද වැරදි...
ඊට දවස් දෙහෙකට පස්සෙ රෑක මම ඇහැරුනෙ හැමදාම වගේ දකින බියකරු හීනයක් නිසා... මම ඇඳේ ඉඳගෙනම සුසුමක් හෙලුවෙ මේ කරදරයෙන් මට ජීවිත කාලෙම විඳවන්න වෙයි කියන සිතුවිල්ලෙන්..
"දෙවියනේ...."
මම ඊලඟට දැක්කෙ කොහොමටවත් බලාපොරොත්තු නොවුණු දෙයක්.. මගෙ පොත් මේසෙ උඩ තිබුනෙ නිධන් වදුලු පොත.. ඒක කොහොමද මෙහාට ආවෙ.. බියෙන් වටපිට බලපු මම ගොඩක් වෙලා ඒ දිහා බලාගෙන හිටියෙ කරන දෙයක් හිතා ගන්න බැරුව..
උදේම නැගිටලත් මම කල්පනා කලේ මේ පොත නිසා සිද්ධ වූ විනාශය ගැන දැන් තමා මට එදා ලොකු හාමුදුරුවො කිව්ව වචනෙ අර්ථය හරියටම වැටහුනේ..
"මේ පොත් නිසා සමහරවිට දේපල වගේම ජීවිත උනත් විනාශ වෙන්න පුළුවන්.. ඒ නිසා මේව ගැන කවුරුත් දැන නොගන්නා තරමට බොහොම හොඳයි..."
මම දැන් කරන්න ඕන දේ මොකද්ද කියල මට වැටහුණු ගමන්ම පොතත් අරගෙන මම ලොකු හාමුදුරුවො හම්බ වෙන්න යන්න පිටත් වුනා...
************* ************* *************
ඇස්වලින් ගලපු කඳුලු නිසා මට ලොකු හාමුදුරුවොන්ව හරියට පෙනුනෙ නෑ.. මෙච්චර දවසක් හිතේ හිරවුන මේ දේවල් කීවම හිතට දැනුනෙ පුදුම සැහැල්ලුවක්..
"මම නිසයි මේ ඔක්කොම අපෙ හාමුදුරුවනේ... දැන් මට මොනව වුනත් කමක් නෑ... මම ඇත්ත කියනවා අපෙ හාමුදුරුවනේ.."
ලොකු හාමුදුරුවො අතේ තිබුන නිදන් වදුල දිහාත් මා දිහාත් බැලුවෙ සීරුවට ... උන්නාන්සේ මද වේලාවක් නිහඬව ඉඳල හෙමින් කතාව පටන් ගත්තා
"මට එදාම හිතුනා මොකක් වුනත් භයානක දෙයක් මේක පිටිපස්සෙ ඇති කියල. දෙනුවන්ට මම එදාම ම කිව්වෙ මේ වගේ නස්පැත්තියක් ගැන තමයි.. මේ නිධන් කියන දේවල් හරි බලගතු දේවල්.. ඉස්සර මේවා තැන්පත් කරපු අය මේව රකින්න බාර දෙන්නෙ බලගතු යක්ෂ ආත්ම වලට. උන් මේව රකින්න නොයෙක් ප්‍රයෝග ගන්නවා.. ඒ වගේම එක නිධානයකට බොරු නිදන් වදුලු හුඟක් තියෙනවා.. ඉතිං ඒව නොදැන ගන්න යන මිනිස්සු හුඟක් තමන්ගෙ ජීවිතේ ඒ බහිරවයට නිස්කාරනේ බිලි දෙනවා.. දැන් ඉතිං ඇඬුවා දෙඩුවා කියල උන දේවල් හරි ගස්වන්න බෑනෙ.. දෙනුවන් මේ ලෝකෙ හැමදේම අපිට අයිති නෑ.. තන්හාව කියන දේ තමන්ට තමන්ගෙ විනාශය ගේනවා.. මොනව වුනත් දැන් සංසුන් වෙන්න.. මේ දේවල් වලට දෙනුවන් වැරදි කියන්න බෑ... හැබැයි නිවැරදි කියන්නත් බෑ... හැබැයි මතක තියාගන්න අපි ජීවත් වෙන්නෙ බොහොම බලගතු මායාවන් සහිත විශ්වයේ... මේ විශ්ව බලය නොයෙක් නොයෙක් විදිහට අප වටා තියෙනවා.. ඒ නිසා ස්භාව දහමෙන් පිට යන සිතිවිලි වලින් අපි ආරක්ෂා නොවුනොත් අපිට වෙන්නෙ ඔය ජන්තුලට වෙච්චි දේම තමා....."
නිමි..

Comments
Post a Comment